ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම ඉල්ලීම සිදු කර තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයේ කටයුතු කිරීම ගරු අධිකරණය විසින් වාරණය කොට ඇති පසුබිම තුළ පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා විධි විධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතු වී තිබීම හේතුවෙන් මෙම රැස්වීම කැඳවීමට තීරණය කළ බව මෙම ලිපියෙහි සඳහන්.
අප්‍රේල් මස 08 වැනිදා පෙරවරු 10.00ට එම රැස්වීම කැඳවන ලෙසත් ඊට මෛත්‍රීපාල සිරිසේන,දයාසිරි ජයසේකර සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු හැර නීත්‍යානුකූලව කැඳවිය හැකි සියලු සාමාජිකයින් සහභාගී කරවන ලෙසත් නිමල් සිරිපාල මහතා මෙම ලිපිය මඟින් ඉල්ලා තිබෙනවා .




