අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම සංශෝධනය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබේ.
මෙය සමස්ථ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීමේ ක්රියාවලියේම එක් කොටසක් බවත් අධිකරණ අමාත්‍යවරයා පැහැදිළි කළේය. මෙමගින් අධිකරණයේ ස්වාධීන්වයට කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
රටේ නීතියක් වෙනස් කිරීම රටක සෛවරී අයිතියක් බවත් , නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් රටේ ව්‍යවස්ථාවට යටත්ව සියලුම නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව රටකට නීතියක් ගෙන ඒම හෝ සංශෝධනය කිරීම එම රටේ අයිතියක් බවත්, ආණ්ඩුව පත් කළ ජනතාවගේ අභිලාෂය එය බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් යටතේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම වන බවත්, ඒ් වෙනුවෙන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයිද කීය. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ නව උසාවි 07ක් සහ කොළඹින් බැහැර උසාවි රැසක් පිහිටුවා ඇතැයිද කීය. අධිකරණ කොමිෂන් සභාවට නව බඳවාගැනීම් 2607ක් අමාත්‍යංශයට තවත් බඳවා ගැනීම්1000ක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මේ වන විට බඳවා ගැනීම් සිදු කරන බවද කීය. මාර්ග ගත ක්‍රමය ඔස්සේ සාක්කි දීම වැනි ක්‍රම ඔස්සේද අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීමට කටයුතු කර ඇතැයිද කීය.
රජය බලයට පත්වූයේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවගේ අපේක්ෂාව වූයේ නඩු ප්‍රමාදය අවම කර, උසාවිවල වසර ගණනාවක් රස්තියාදු වීමෙන් තොර කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ගොඩනැඟීම සහ දූෂිතයන් නීතිය ඉදිරියට පැමිණවීම බවත් සඳහන් කළේය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් හෝ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ නොකර නීතියට අත නොතබා දේශපාලනය කරන ලෙස තමන් විරුද්ධ පක්ෂයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
එමෙන්ම මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඕනෑම පාර්ශ්වයකට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය අභියෝගයට ලක් කිරීමේ නීත්‍යානුකූල අයිතිය පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




