ප්රමාණවත් බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් කොළඹ සහ කන්කසන්තුරය අතර ධාවනය වන නගරාන්තර සීඝ්රගාමී දුම්රිය සතියකට දින හතරක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
2027 ජූලි 10 දින සිට ක්රියාත්මක වන පරිදි, ගල්කිස්සෙන් උදෑසන 05.15ට සහ කොළඹ කොටුවෙන් උදෑසන 05.45ට කන්කසන්තුරය බලා පිටත්වන දුම්රිය මෙන්ම, පස්වරු 01.50ට කන්කසන්තුරයෙන් ගල්කිස්ස බලා පිටත්වන දුම්රිය සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දිනවල පමණක් ධාවනය වේ. දැනට යාල් දේවී සීඝ්රගාමී දුම්රිය ද ධාවනය වන්නේ දිනක් හැර දිනක් පමණි.
මෙම සංශෝධනය නිසා සෑම අඟහරුවාදා සහ බ්රහස්පතින්දා දිනකම උදෑසන කාලයේ කොළඹ සිට යාපනය හෝ කන්කසන්තුරය දක්වා ගමන් කිරීමට දුම්රිය නොමැති අතර, එම දිනවල ඇති එකම දුම්රිය වන්නේ රාත්රී 08.00ට පිටත්වන රාත්රී තැපැල් දුම්රිය පමණි.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අවධාරණය කරන්නේ, බලධාරීන් ගැටලුවට නිසි විසඳුම් නොගැනීම හේතුවෙන් ඉදිරියේදී මෙම අර්බුදය තවදුරටත් උග්ර විය හැකි බවයි.




