ශ්‍රී ලංකාවේ සමස්ත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන (EV) පවතින්නේ සියයට එකක් වැනි ඉතා සුළු මට්ටමකිනි.
මෙම ප්‍රතිශතය කඩිනමින් ඉහළ නැංවීම හුදෙක් පාරිසරික පියවරක් පමණක් නොවේ. එය මෙරට ආර්ථිකයේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
පොසිල ඉන්ධන වෙනුවෙන් ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන ගණනක විදේශ විනිමයක් වැය කරයි. විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීම හරහා මෙම දැවැන්ත ධනස්කන්ධය රට තුළ ඉතිරි කර ගැනීමට මඟ පෑදේ. මෙහි ඇති වැදගත්ම සාධකය වන්නේ එම වාහන ආරෝපණය කිරීම සඳහා දේශීය පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමයි. එමඟින් රට සතු ස්වාභාවික බලශක්ති විභවතාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමටත්, ජාතික ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දීමටත් හැකියාව ලැබෙනු ඇත.
විද්‍යුත් වාහන භාවිතය මෙතෙක් සීමා වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකමයි. මෙම බාධකය ඉවත් කිරීම සඳහා “විද්‍යුත් වාහන ආරෝපණ යටිතල පහසුකම් සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය” මේ වන විට සකස් වෙමින් පවතී.
කොළඹදී අද (17) ඇරඹි විශේෂ වැඩමුළුව එහි මූලික පියවරකි.
නව උපායමාර්ග යටතේ විදුලි ඉල්ලුම අඩු දිවා කාලයේදී වාහන ආරෝපණය සඳහා සහනදායී අඩු අය කිරීමක් (Off-peak tariff) හඳුන්වා දීමට නියමිතය. මීට අමතරව, නාගරික සීමාවෙන් ඔබ්බට ගොස් දිවයින පුරා විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයක් බිහි කිරීම සහ ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ. අරමුණ පැහැදිලිය; තාක්ෂණය කොළඹට පමණක් සීමා නොකර ගමටත් රැගෙන යාමයි.
මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් එක්ව සිටිති. බලශක්ති අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ දේශගුණික සහ පිරිසිදු වායු පිළිබඳ සන්ධානය (CCAC) මෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරයි.
මීට අමතරව, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL), සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ විදුලිබල ක්ෂේත්රයේ ප්රමුඛ බෙදාහැරීමේ සමාගම් රැසක් මේ සඳහා සක්‍රීයව දායක වේ.
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, අමාත්‍යාංශ ලේකම් රසල් අපෝන්සු සහ UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා ඇතුළු පිරිසකගේ සහභාගිත්වය පෙන්නුම් කරන්නේ මෙය හුදෙක් ලියවිල්ලකට සීමා නොවන ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවයි. මෙම සාමූහික ප්රයත්නයේ අවසාන ඉලක්කය වන්නේ, රටට ඔරොත්තු දෙන තිරසාර හරිත ආර්ථිකයක් ගොඩනැඟීමයි.




