Sunday, April 19, 2026
spot_img
spot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් ආදායම් බදු ගැනීමට එරෙහි පෙත්සමට අභියාචනාධිකරණයෙන් ලැබුණු යෝජනාව

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් ආදායම් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද (නොවැ: 06) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කළේ ය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අදාළ බද්ද අය කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මෙම යෝජනාව කළේ ය.

මෙම පෙත්සම් විභාගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙම ගැටලුව මෙම සිද්ධියට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාර්ශවය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, නීතිපතිවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව ය.

‘ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ කීර්තියට දායක වන පිරිසක්’
රජයට බදු ආදායම් අය කර ගැනීම වැදගත් වනවා මෙන් ම මෙය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා සම්බන්ධ ගැටලුවක් නිසා මෙම බදු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස මෙහිදී විනිසුරුවරයා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහට යෝජනා කළේ ය.

තමා මෙහිදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට පක්ෂපාතීව කටයුතු නොකරන බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා, ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් යනු ශ්‍රී ලංකාවේ කීර්තියට දායකත්වයක් ලබා දෙන පිරිසක් බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඔහු සිය යෝජනාව ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බව සඳහන් කළේ ය.

තම සේවාදායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කටයුතු කරන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ බවත්, ඔවුන්ට සේවක අර්ථ සාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ හිමිකමක් නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වාධීන සේවා සපයන්නන් බව පෙන්වා දුන් නීතිඥ ප්‍රේමතිරත්න, එසේ තිබියදී අදාළ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් ලෙස නිගමනය කරමින් ඔවුන්ගෙන් අදාළ බදු අය කර ගැනීමට දේශීය ආදායම කොමසාරිස් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් කියා සිටියේ ය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බව ය.

එසේ තිබියදී අදාළ ක්‍රීඩකයින් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමකින් තොරව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් වශයෙන් නිගමනය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරල්වරයක් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් එය අත්තනෝමතික තීරණයක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ ය.

එම නිසා මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම ගැටලුව සියලු පාර්ශව එක්ව සාකච්ඡා කර යළි සලකා බලා තීරණයක් ගැනීම සුදුසු බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන 18 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

BBC sinhala

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...