පුද්ගල ඝාතන චෝදනාවට වරදකරු වීමෙන් පසු මරණීය දණ්ඩනය නියම වී දැනට බන්ධනාගාරව සිටිනා ” මැදමුලන වලව්වේ දඩ බල්ලා ” ලෙස තමන් තමන්වම හඳුන්වා ගත් ජී.පී අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නමින් කුප්‍රකට නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අහෝසි කරනා ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) නිෂ්ප්‍රභ කළේය.
ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් ප්‍රකාශිත මරණීය දණ්ඩනයට එරෙහිව පසුව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර 2024 නොවැම්බර් 20වනදා අභියාචනාධිකරණය මුල් නඩු තීන්දුවම ප්‍රකාශයට පත් කරමින් ඔහුගේ මරණ දඬුවම ස්ථිර කළේය.
පසුව ඔහු විසින් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ඇපෑල විභාගයට නොගෙනම අද (07) නිෂ්ප්‍රභ කළේය.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
ජුම්පිටිය අමරේට තංගල්ල මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කරන්නේ කටුවන හැඩිවත්ත පින්න මණ්ඩිය ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල කර වෙඩි තබා පුද්ගල ඝාතන දෙකක් සිදුකර තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ අපරාධයට වරදකරු කරමිනි.
2012.06.15 වැනිදා කටුවන හැඩ්වත්ත ප්‍රදේශයේ ලියනගේ රන්ජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක වත්මන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කතාවක් කරමින් සිටියදී ජුලම්පිටිය අමරේ ඇතුළු මැර කණ්ඩායමක් යතුරු පැදිවලින් එම රැළියට කඩා වැදී ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදු කර තිබිණි.
අමරේ වෙඩි තබා තිබුණේ ” යකෝ… මම තමයි මැද මුලන වලව්වේ දඩ බල්ලා… තොප් පුලුවන්නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු උන්” යැයි පවසමිනි. වෙඩි වැදී 50 හැවිරිදි එදිරිමාන්නගේ මාලනී නැමැති මවක් ද ජේ. පී. නිමන්ත ග්‍රේෂන් නැමැති 18 හැවිරිදි තරුණයෙක් ද මිය ගොස් තිබිණි. බරපතල තුවාල ලැබුවේ 26 හැවිරිදි ප්‍රදීප් සාරංග නැමැති තරුණයෙකි.




