spot_img
spot_img

‘ලැයිස්තුවේ නැති සමාව දුන් සිරකරුවන්ගේ නම් හිරගෙදර ගේට්ටු පොත්වල’- නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට ලක්වූ විශේෂිත රැඳවූවන් කිහිපදෙනෙකු සැකකටයුතු ආකාරයෙන් ඇතැම් බන්ධනාගාරවලින් මුදාහැර ඇති බවට කරුණු අනාවරණය වන බව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර ඊයේ (ජූනි 25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග වෙත දැනුම් දුන්නා.

රැඳවූවන් නිදහස් කර යැවීමේ ලැයිස්තුවල ඒ බව සඳහන්ව නොමැති නමුත් එම බන්ධනාගාර දොරටු පොත්වල එසේ මුදාහරින ලද පුද්ගලයන්ගේ නම් සඳහන්ව තිබෙන බව ද ඇය පෙන්වා දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරීය ඒ බව කියා සිටියේ, ජනාධිපති පොදු සමාව හිමි නොවේය යුතු පුද්ගලයෙකු අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැර ඇති බව කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ජූලි මස 9 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මෙසේ පැවසීය.

“මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමට පෙර ඔහු ලබාදුන් ප්‍රකාශ පාදක කරගෙන විමර්ශන සිදු කරනවා. අනුරාධපුර බන්ධනාගාරයෙන් වෙසක් දිනය පාදක කරගෙන ලබා දෙන ලද ජනාධිපති සමාව යන කාරණාව යටතේ නිදහස්ව ගිය පුද්ගලයන් අතරින් තිලකරත්න නමැති පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් තමයි මේ විමර්ශන සිදු කෙරෙන්නේ.

එම නිදහස් කිරීමට අදාළව 2025/6/6 දින මෙම සැකකරුගේ අත්සනින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරීය වෙත ලිපියක් යොමු කරලා තියෙනවා.

මූල්‍ය වංචාවකට සම්බන්ධ අයෙකු වෙසක් දා සමාවෙන් ගෙදර යවලා යන මැයෙන් “මව්බිම” පුවත්පතේ පළ වූ පුවතක් පාදක කරගනිමින් තමයි ඒ ලිපිය යවල තියෙන්නෙ.

මේ ලිපිය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. එම ලිපිය සැකකරු සැකකරුවෙකු හැටියට අත්අඩංගුවට ගැනීමට ප්‍රථමයෙන් ඔහුගේ ප්‍රකාශ සටහන් කළ අවස්ථාවේදී ඔහු විසින් ම ඔහුගේ අත්සනින් ලබා දුන්න ලිපියක්.

තිලකරත්න නමැති පුද්ගලයා නිදහස් කර හැරීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් මූලස්ථානයට යොමු කරන ලද ලිපියක් එම සැකකරුගේ ලිපියත් සමග අමුණලා මෙම සැකකරු ඔබතුමියගේ අධිකරණයට හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරීයටත් යවලා තිබෙනවා. මෙම ලිපිවල නිල මුද්‍රා නැති නිසා මේ ලිපි සම්බන්ධයෙන් සැකයක් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කළ යුතුව තිබෙනවා. මෙය සැකකරු විසින් හදපු ව්‍යාජ ලිපියක් බව පේනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මේ ආකාරයට බන්ධනාගාර කිහිපයක පුද්ගලයන් මුදාහැර තිබෙනවා. ඒ අතර ඉන්නවා සැකකටයුතු ආකාරයට පිටව ගිය අය හා පැමිණිල්ල විමර්ශනයට භාජන කළ විශේෂ පුද්ගලයන් කිහිපදෙනෙක්. ඒ අයගේ නම් කිසිම ලැයිස්තුවක නැහැ, මුල් අවස්ථාවේ ලැයිස්තුවලත් නම් නැහැ. අවසාන මොහොතේ ගෙන්වා ගන්නා 11 වන දින ලැයිස්තුවෙත් නැහැ. නමුත් ඔවුන් ගේට්ටුවෙන් එළියට මුදාහැර තිබෙනවා. ඒ පුද්ගලයන් යවපු බවට ගේට්ටුවේ පවත්වාගෙන යන ලෙජරයේ සඳහන් වෙලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරගෙන යනවා. මෙම විමර්ශන සංකීර්ණයි. මෙම විමර්ශන කෙටි දිනයකින් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. සැකකරුට ඇප ලබා දුනහොත් මෙම විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙනෙන්නට තිබෙනවා.

සැකකරු නිදහස් වූ පුද්ගලයාට සාධාරණීකරණය කිරීමට අමුතු විදිහේ ලේඛන දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මෙම විමර්ශනය කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉහත සඳහන් කළ ලේඛන දෙක පිළිබඳව සාධාරණ සැකයක් තියෙනවා. සෙසු බන්ධනාගාර පිළිබඳව තවදුරටත් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කාලයක් දෙන්න කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. එතෙක් සැකකරු රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මා පෙනී සිටිමින් කියා සිටියේ තම සේවාදායකයා නිර්දෝෂී පුද්ගලයෙකු එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔහු මුදාහරින ලෙසත්ය. දෙපාර්ශ්වය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...