spot_img
spot_img

“CIDයට සොයාගන්න බැරි වුණා මිස මා සැඟ වී සිටියේ නෑ”

තමා අධිකරණය මඟහැර හෝ සැඟවී නොසිටී බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමා සෙවීමේදී අවශ්‍ය තැන්වල තමාව සෙවීම කටයුතු නොකළ බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු කමිටුවේදී ඊයේ (ජූනි 24) සාක්ෂි දෙමින් පැවසුවා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල පරීක්ෂා කිරීම් නොකර අනවශ්‍ය ස්ථාන පරීක්ෂා කිරීම හේතුවෙන් තමන් සොයා ගැනීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේ ය.

විත්තිකාර පොලිස්පතිවරයා සිය ප්‍රශ්න කිරීම් හමුවේ විමසුවේ, “ආරණ්‍ය සේනාසනත් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබුණා. මම එහේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඉන්නද ස්වාමිනී?” යනුවෙනි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමසුවේ, “W15 හෝටලය ඉදිරිපිට සිද්ධියෙන් මියගිය උපුල් නමැති නිලධාරීයාට වන්දි ලබා දීමට ඔහු සිදුකළ වීරක්‍රියාව කුමක් ද?” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ, “ස්වාමිනී, වීරක්‍රියාවක් කරන්න ඕනේ නැහැ. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි ඔහු මියගියේ. උසස් නිලධාරියෙක් විශ්වාස කරලා තමයි ඔහු සද්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා” යනුවෙනි.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් සිය සාක්ෂි ලබා දෙමින් මේ බව පැවසීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙක් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හමුවේ ජූනි 23 වන දා සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව කීය.

විශේෂයෙන් ම මෙම සිද්ධියට අදාළව, අධිකරණ ක්‍රියාමාර්ග සහ පරීක්ෂණ කමිටු පත් කිරීම දේශපාලන පළිගැනීමක් සිදු කිරීමේ අරමුණින් කටයුතු සිදුවන බව හැඟෙන බවද දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

මේ අතර, අදාළ සිදුවීමෙන් පසු එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූයේ ද යන්න දිලීප පීරිස් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබා දෙමින් විත්තිකාර පොලිස්පතිවරයා පැවසුවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එය පැවැත් වූයේ W15 හෝටලය ගැන පැවැසීමට නොව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට බවයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් – W15 හෝටලය ඉදිරිපිට සිද්ධියෙන් මියගිය උපුල් නමැති නිලධාරීයාට වන්දි ලබා දීමට ඔහු සිදු කළ වීරක්‍රියාව මොකක්ද?

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී, වීරක්‍රියාවක් කරන්න ඕනේ නැහැ. රාජකාරියක් කරන්න ගිහිල්ලා තමයි ඔහු මියගියේ. උසස් නිලධාරියෙක් විශ්වාස කරලා තමයි ඔහු සද්භාවයෙන් වැඩ කළේ. ඒ නිසා ඔහුට ත්‍යාග මුදලක් ලබා දීමට කටයුතු කළා.

දිලීප පීරිස් – “කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා අපරාධය සිදුවූ ස්ථානයට ගියා ද?

දේශබන්දු තෙන්නකෝන් – “නැහැ ස්වාමිනී, එයා හිතුවලු වැලිගම පොලිසියෙන් සිද්ධිය ගැන විමර්ශන සිදු කරන නිසා සහ අදාළ සිද්ධියට තමන්ගේ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකුත් සම්බන්ධ නිසා එම සිද්ධිය වූ ස්ථානයට ගියොත් යම් කිසි ප්‍රශ්නයක් වෙයි කියලා. ඒ නිසා ඔහු අදාළ සිද්ධිය වූ ස්ථානයට යන්නේ නැතිව වැලිගම පොලිසියට ගිහින් තොරතුරු විමසා තිබු තිබුණා.”

දිලීප පීරිස් – “අපරාධය සිදුවූ ස්ථානය බැලුවොත් හොඳයි නේද?

දේශබන්දු තෙන්නකෝන් – “එහෙම බලන්න අවශ්‍ය නැහැ”

පරීක්ෂණ කමිටුවේ විනිසුරුවරයෙක් – “සාක්ෂිකරු, ඔබ දිගින් දිගටම ප්‍රශ්න යොමු කළා. ඔබට හරස් ප්‍රශ්න අහන්න බැහැ. උසාවියේ වගේ නම් ඔබට මෙච්චරවත් කතා කරන්න බැහැ. නමුත් ඔබට කාරණා කියන්න අවස්ථාවක් ඕනේ නිසා තමයි මේ උදා කර දී තිබෙන්නේ. ඒ නිසා ඔබට හරස් ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ.”

දිලීප පීරිස් – “අදාළ සිද්ධියෙන් පසු ඔබ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමග මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වුණා ද?’

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී, මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා, නමුත් W15 හෝටලය ගැන කියන්න නෙවෙයි. රටේ සමස්ත ක්‍රියාවලිය ගැන දැනුවත් කරන්න.”

සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන – අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී W15 හෝටලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවාද?

දේශබන්දු තෙන්නකෝන් – “ඔව් ස්වාමිනී, මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. අපි එයට පිළිතුරු ලබාදුන්නා.”

දිලීප පීරිස් – මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් පසු තමන් සැඟව සිටියාද?

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී මම හැංගිලා හිටියේ නැහැ, මම මගේ ගිරිඋල්ලේ නිවසේ හිටියේ. මම සාමාන්‍යයෙන් ඉන්න විදිහට ඒ ගෙදර හිටියා. මම නිදාගන්න කාමරයේමයි. මම කෑම කන කාමරයට ගිහින් කෑම කෑවා. මම සාමාන්‍ය ජීවිතයක් ගත කළා.

සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන – “ගිරිඋල්ල නිවසේ වෙන කවුරුන් හෝ සිටියාද?

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී මගේ මව ඇතැම් අවස්ථාවල ඉන්නවා. ඇය වයෝවෘද්ධයි. ඇතැම් අවස්ථාවල ඇය මගේ සහෝදරයන්ගේ නිවෙස්වලත් ඉන්නවා.”

සභාපති විනිසුරු – අදාළ වරෙන්තු නිකුත් කිරීමේ සිද්ධියෙන් පසු නිවසේ සිටියේ කවුරුන්ද?

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී මම තනියම හිටියේ.”

දිලීප පීරිස් – “බල්බ දල්වන්නේ නැතිව ඉන්න එකද ඔබ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න විදිහ?”

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී එම නිවසේ විදුලිය කපා තිබුණේ, ඒ නිසා මම ඉටිපන්දමක් ආධාරයෙන් දවස ගෙවාගත්තා.”

දිලීප පීරිස් – “හුදෙකලාව ජීවත් වීමද ඔබේ සාමාන්‍ය ජීවිතය?”

දේශබන්දු තෙන්නකෝන් – “මම හුදෙකලාව ඉන්න එකද මගේ සාමාන්‍ය ජීවිතය කියලා ඔබ දන්නේ නැහැනේ.”

දිලීප පීරිස් – “ඒක තමයි.. දැනගන්න තමයි අහන්නේ. ඔබ හරි ACTIVE පුද්ගලයෙක්නේ.” හෝකන්දර නිවසේ බිරිඳ සහ දරුවන් සමග සිටීමට හැකියාව තිබියදී ගිරිඋල්ලට ගියේ ඇයි?

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී නීතිඥවරුන්ගේ උපදෙස් මත, අධිකරණ කටයුතුත් නිසා මම හිතුවා එහෙම ඉන්න අවශ්‍යයි කියලා. හැබැයි ස්වාමිනී මම අවශ්‍ය අවස්ථාවලදී කොළඹටත් ආවා.

දිලීප පීරිස් – “ඔබ අධිකරණය මඟහැරලා හිටියේ නැහැ කියන එක ද ඔබේ ස්ථාවරය?

දේශබන්දු තෙන්නකෝන්– “ඔව් ස්වාමිනී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවශ්‍ය තැන්වල නෙවෙයි මාව සෙව්වේ. කතරගම
බස්නායක නිලමේවරයාගේ ගෙදරකට ගිහිල්ලාත් පරීක්ෂා කරලා තිබුණා. මම ඔහුව දන්නවා, හැබැයි ඔහුගේ ගෙදර කොහේද තියෙන්නේ කියලාවත් මම දන්නේ නැහැ. අදාළ තැන් නෙවෙයි මේගොල්ලෝ -පරීක්ෂා කර තිබුණේ. ආරණ්‍ය සේනාසනත් විශාල සංඛ්‍යාවක් පරීක්ෂා කර තිබුණා. මම එහේ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නමක් විදිහට ඉන්නද ස්වාමිනී.

දිලිප පීරිස් – “පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ඔබ සැඟ වී සිටින බවටත්, ඔබ සෙවීමට මහජන සහාය පතන බවටත් ප්‍රකාශ කළ බව ඔබ දන්නේ නැද්ද?

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී මම දන්නේ පස්සේ. YOUTUBE හරහා තමයි මම ගිහිල්ලා ඒක දැනගත්තේ.

දිලිප පීරිස් – “අමනාප වෙන්න එපා මෙහෙම අහනවාට. ගිරිඋල්ලේ ඉඳන් කොළඹ එනකොට ත්‍රිරෝද රථ රියැදුරන්ට වැඩි මුදලක් දීලා ඔවුන්ගේ ජංගම දුරකතනවලින් WHATSAPP හරහා ද ඔබ නීතිඥවරුන් සම්බන්ධ වුණේ. සාමාන්‍යයෙන් ඒක වෙන්න බැරි දෙයක් නේද දේශබන්දු මහත්මයා?

දේශබන්දු තෙන්නකෝන් – “ඒක සාමාන්‍ය දෙයක්. මොකද අද කාලේ ඕනම කෙනෙක් WHATSAPP පාවිච්චි කරනවා. ත්‍රිරෝද රථ රියැදුරු විතරක් නෙවෙයි පොළේ බඩු විකුණන කෙනත් WHATSAPP පාවිච්චි කරනවා. මම මට අමතන්න ඕනේ අයගේ නම්බර්ස් කඩදාසියක ලියාගෙන තිබුණේ. ඒ හරහා මම ඔවුන්ට ගත්තා.

දිලීප පීරිස්- “මේක හරි වෙහෙසකර ගමනක්නේ ඉතින්?

දේශබන්දු තෙන්නකෝන් – “අනිවාර්යෙන්ම. මේක සුවපහසු ගමනක් නෙවෙයි.

දිලීප පීරිස්- “අද වන විට මෙලෙස කමිටුවක් පත්කරලා, විමර්ශන කරන්නටත් දේශබන්දු ඔබට අධිකරණයට යන්නටත් දේශපාලනික පළිගැනීමක් සිදු වූවා කියන එකද ඔබේ අදහස?”

දේශබන්දු තෙන්නකෝන් – ඔව්, එහෙම අදහසක් තියෙනවා.

දිලීප පීරිස් – “ඔබ පොලිස්පති ධුරයේ කටයුතු කරන විට CCD එකේ නිලධාරීන් ඔබව අන්දනවා කියලා ඔබට තේරුණේ නැද්ද?”

දේශබන්දු තෙන්නකෝන් – “ස්වාමිනී මම දැනුත් කියන්නේ ඔවුන් දැන් කියන එකත් තව ටික කාලයකින් වෙනස් කරයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...