උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විඳුර වික්‍රමනායක මහතා පවසනවා.
මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මහජන සේවකයින් වන දේශපාලනඥයින් පෙරහරින් වැඩම කරවීම අත්හැරිය යුතු බවයි.
උඩුගං බලා යන මෙරට සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීම සඳහා සංස්කෘතික සංගායනාවක අවශ්‍යතාව පවතින බව අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා .
තවදුරටත් අදහස් දැක්වු වික්‍රමනායක මහතා,
“බොරුවට සංස්කෘතිය, සංස්කෘතිය කියලා කෑ ගැහුවට කීයෙන් කීදෙනාද මේ සංස්කෘතිය ගැන දන්නේ. කාටද මේක රකින්න ඕනකමක් තියෙන්නේ. අපි හිතනවා මේ දේශපාලනඥයින්ව පෙරහැරෙන් එක්කන් එන එක තමා සංස්කෘතිය කියලා. අපේ කලාකරුවන්ගේ කොන්ද බිඳලා තියෙන්නේ. අභිමානයක් නැති කලාකරුවෙක් අද ඉන්නේ. අභිමානයක් දෙනකල් කවදාවත් මේ සංස්කෘතිය නඟා සිටුවන්න බෑ. මේ විකාරරූපි වැඩ නවත්තමු. මේවා කරා අපි අවුරුදු 75ක්. රුපියල් ශතවලින් අපි බංකොළොත් වුණාට හදාගන්න පුළුවන්. නමුත් සංස්කෘතියෙන් බංකොළොත් වුණ දවසට මේ රටේ දණින් වැටෙන්නේ මිනිස්සු තමා…”




