මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා හාරදී තිබෙනවා.
මෙලෙස නාම යෝජනා භාර දී ඇත්තේ, දේශපාලන පක්ෂ 17 ක් සහ ස්වාධීන කණ්ඩායම් 16 ක්.
ජාතික ජන බලවේගය සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීයි.
සමගි ජන සන්ධානය කොළඹ පිහිටි එම සන්ධානයේ කාර්යාලයේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම සිදුකළා.
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණත් අද සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබුවා.
ඒ් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍රවලට අද අත්සන් තැබුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදීයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම පසුගිය 4 වැනිදා ආරම්භ කෙරුණා.
එය අවසන් වන්නේ අනිද්දා (11) පෙරවරු 12.00ටයි.
මේ අතර මහ මැතිවරණයට අදාල තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙට මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මේ අතර මහමැතිවරණය සදහා විදේශීය මැතිවරණ නීරීක්ෂකයින් රැසකට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියා.
ඒ අනුව ජනාධිපතිවරණයේ නිරීක්ෂණය සඳහා පැමිණි සාක් කලාපීය රටවල නිරීක්ෂකයින් සහ රුසියාව නියෝජනය කරමින් රටවල් 08ක නියෝජිතයින් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වනවිටත් මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සදහා පැමිණීමට මැතිවරණ කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.
මේ අතර මහ මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයින් ද මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්.




