spot_img
spot_img

ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් චෝදනා කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ, නීති සම්පාදන ආයතනය වූ පාර්ලිමේන්තුව ඊට සෘජුවම වගකිව යුතු බවත් මෙය මුළුමනින්ම රටේ ජන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුව මෙන්ම බලධාරීන්ද කිසිදු උනන්දුවක් දක්වා නැති බවයි.

සිරකරුවාගේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය මැතිවරණ දිනයේ තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව පෙලඹවීම් කළද එම විෂයට අදාළව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවද ඔහු පවසනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයත් මෙතෙක් පැවැති නීති රාමුව තුළම පැවැත්වෙනු ඇති බවත් මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවරක් නැති බවත් ඒ මහතා සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා:

“මේවා කිරීම සඳහා නීති පද්ධතියට අපි යෝජනා කළ සංශෝධන කිසිවක් මේ දක්වා සම්මත වෙලා නැහැ. වසර ගණනාවක් තිස්සේ යෝජනා කරන ලද සංශෝධන එහෙමමයි. ඒවත් එක්ක පාර්ලිමේන්තුව තවම ඉදිරියට ගිහින් නෑ. ඒ නිසා මෙතෙක් පවතින පනතේ තිබෙන රාමුව තුළ තමයි අපි වැඩ කළ යුත්තේ”

එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව ලක්ෂ 30 ඉක්මවන අතර ඔවුන්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම සැලසීම සඳහා 2016දී පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පැවැතියද එය රැස්වූයේ එකම අවස්ථාවකදී පමණක් බවත් ඉන්පසු පත්කළ තේරීම් කාරක සභාවද රැස්වූයේ අවස්ථා දෙකකදී පමණක් බවත් ඔහු පවසනවා.

දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කාරක සභාව ද මේ ගැන සාකච්ඡා කළ බවත් ප්‍රියසාත් ඩෙප් කමිටුවට ද මේ ගැන යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ඒ මහතා පෙන්වාදෙනවා.

අවසන් මහමැතිවරණයේදී සිරකරුවන් 22,800කට ඡන්ද අයිතිය අහිමි වී ඇති බවත් බන්ධනාගාරයේ විශේෂ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කරගැනීමට නොහැකි වීම ඊට බලපෑ බවයි ගජනායක මහතා පවසන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ලක්ෂ 30ක් 40ක් අතර පිරිසකට සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම මෙම තත්ත්වයට විසදුම් සෙවීම සඳහා ඒකාබද්ධව ක්‍රියා කළද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කට්ටිවාදය හා අවස්ථාවාදය විසින් එම නීති ප්‍රතිසංස්කරණ වළක්වනු ලැබ ඇති බවත් ඔහු චෝදනා කරනු ලබනවා.

ඡන්ද අයිතිය හිමි පුරවැසියන්ගෙන් විශාල පංගුවකට මෙසේ එම අයිතිය අහිමි වීම දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා වන නමුත් ඒ ගැන කිසිදු පරිවර්තනීය වෙනසක් නොවීම ඛේදවාචකයක් යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මේ නිසා මැතිවරණ සමයේදී පමණක් කෙරෙන සාකච්ඡාවකට ලඝු නොවී එම ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථාදායකයේ කෙරෙන නීති සම්පාදන මඟින් යථාර්ථයක් විය යුතු බවයි.

ඒ අනුව ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩුවකට මෙම නෛතික හිඩැස පිරවීමේ ප්‍රමුඛ වගකීමක් ඇති බවද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...