කොළඹ ජාතික රෝහලේ (NHSL) වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කම් සඳහා බලා සිටින රෝගීන් 1,000කට අධික සංඛ්‍යාවක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වේ. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ රෝහල සතු විශේෂිත ලිතෝට්‍රිප්සි (lithotripsy) යන්ත්‍ර දෙකම අක්‍රීය වීමයි.
විශාල වකුගඩු ගල් ඉවත් කිරීම සඳහා කෙරෙන අවම ආක්‍රමණශීලී සැත්කමක් වන පර්කියුටේනියස් නෙෆ්‍රොලිතොටොමි (PCNL) ක්‍රමවේදය සඳහා අත්‍යවශ්‍ය ‘ඉන්ට්‍රාකොපෝරියල් නිව්මැටික් ලිතෝට්‍රිප්සි’ යන්ත්‍ර රෝහල සතුව නොමැත.
සැත්කම් සඳහා දින ලබා දී රෝහලට ඇතුළත් කරනු ලබන රෝගීන්ට, සැත්කම සිදු කිරීමට අවශ්‍ය උපකරණ නොමැති බව පවසමින් නැවත නැවතත් සැත්කම් කල් දැමීමට සිදුව ඇත. මෙය රෝගීන්ට දැඩි මානසික හා කායික පීඩාවක් ගෙන දෙන කරුණකි.
මෙම උපකරණ ලබා ගැනීම සඳහා ඉල්ලීම් බොහෝ කාලයක සිට සිදු කර තිබුණද, මිලදී ගැනීමේ ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
විශාල වකුගඩු ගල් සහිත රෝගීන්ට නියමිත වේලාවට සැත්කම් නොලැබීමෙන් බරපතල සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවනවා.
කොළඹ ජාතික රෝහල යනු ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කවලින් පවා සංකීර්ණ වකුගඩු ගල් සැත්කම් සඳහා රෝගීන් යොමු කෙරෙන මෙරට ප්‍රධානම රෝහලයි. වත්මන් උපකරණ හිඟය නිසා විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු යටතේ සිදු කෙරෙන මෙම සැත්කම් ක්‍රියාවලිය දැඩි ලෙස අඩපණ වී තිබෙනවා.




